ආගමික ප්‍රතිසංස්කරණයන්ට පසුබිම් වූ හේතු සාධක
මධ්‍යතන යුගයේ දී කතෝලික පල්ලිය මිනිසුන්ගේ ජීවිතවල සෑම ක්‍ෂෙත්‍රයක් කෙරෙහිම ඉමහත් බලපෑමක් ඇ ති කළේය. ක්‍රි.ව පස්වන සියවසේ දී ග්‍රීක-රෝම ශිෂ්ටාචාරයන් බිඳ වැටීමත් සමඟ ම යුරෝපයට උදා වූ අඳුරු කාලපරිච්ඡේදයේ දී කතෝලික පල්ලිය සිය බලය පුළුල් ලෙස වර්ධනය කරගත්තේය. රෝම අධිරාජ්‍යයට නොයෙක් දෙසින් ඇදී ආ ම්ලේච්ඡ ජනයා ශිෂ්ට සම්පන්න ජාතියක් බවට පත් කළ එකම බලවේගය වූයේ පාප් වහන්සේගේ නායකත්වයෙන් පැවැති රෝමානු කතෝලික ආගමයි. එසේම ලොව කිසිම රටක කිසිම ආගමික සංවිධානයකට හිමිව නොපැවති ස්ථානයක් මේ යුගය වන විට යුරෝපා ක්‍රිස්තු සභාවට හිමිව පැවතුණි. මේ වන විට බටහිර යුරෝපානු සමාජයේ අද්විතීය ආගමික බලවේගය බවට කතෝලික පල්ලිය පත්ව තිබිණි. එය රෝම සමාජ සම්ප්‍රදායට අනුව යමින් මිනිසුන් වෙත එහි ආගමික පණිවුඩය සහ අණසක තර්කාණුකූලව මෙන් ම ඉතා කාර්යක්ෂමව ද ගෙන ඒමට ක්‍රියා කර තිබිණි. මෙම ක්‍රිස්තියානි බලවේගයට නායකත්වය දීම හා රෝමානු කතෝලික පල්ලිය පාලනය කිරීමට පත් කළ නායකයා වූයේ පාප් වහන්සේ ය. පාප් ප්‍රමුඛ කතෝලික සභාවේ ආධ්‍යාත්මික නායකත්වය වැඩවසම් යුගයේ අවසන් සියවස් කිහිපය වන විට ශීඝ්‍රයෙන් පරිහාණියට පත්ව තිබිණි. ඔවුන් තම පැවැත්ම උදෙසා ආගමික ඉගැන්වීම් හා සමාජ සාරධර්මවලට පටහැනිව යාම මේ යුගයේ ප්‍රධාන ලක්‍ෂණයක් විය. පාප් වහන්සේ ඇතුළු කතෝලික සභාව ආගමික කටයුතුවල නිරත වනවාට වඩා වැඩි අවධානයක් ලබා දුන්නේ අධිරාජ්‍යවරුන්, රජවරුන් පත් කිරීම හා රටවල දේශපාලනික කටයුතුවලට මැදිහත් වීමටත්, මුදල් රැස් කිරීම, අඹු දරුවන් පෝෂණය කිරීම වැනි පාප්වරුන්ට අයත් නොමැති ලෞකික කාර්යයන් කෙරෙහි ය. “ හත් වන ග්‍රෙගරි හා තුන් වන ඉනොසන්ට් යන පාප්වරුන් යටතේ බලයෙන් හා ස්වාධිනත්වයෙන් ද ආධ්‍යාත්මික ප්‍රභූත්වයෙන් ද කිර්තියෙන් හා ගරුත්වයෙන් ද බැබළුණු පාප් සංස්ථාව මධ්‍යතන යුගයේ මැද හරිය වන විට බටහිර යුරෝපයේත් ක්‍රිස්තු ලෝකයේත් ප්‍රබලම ආයතනය ලෙස වැජඹුණි. තුන් වන ඉනොසන්ට් පාප්තුමා මීට පෙර සිටි සෑම පාප්වරයෙකුටම වඩා පාප් සංස්ථාව යුරෝපීය දේශපාලන ජීවිතයේ කේන්ද්‍රය බවට පත් කිරීමට සමත් විය”. මෙලෙස කතෝලික පල්ලිය බලවත් තත්වයකට පත් වීම එක් අතකින් එහි පිරිහීමට ද හේතු විය. පාප් වහන්සේගේ සිට පූජක දූරාවලියේ පහළ ම ස්ථානයේ සිටි පූජකයා දක්වා ම බලය හා වරප්‍රසාද භුක්ති විඳිමින් ඔවුහු දැඩි කාමභෝගී ජීවිත ගත කිරීමට හුරුව සිටිය හ. මුදල්වලට ගිජුකමින් ධනය රැස් කරමින් සිටි මෙම පූජකවරු තවත් මාදිලියක ප්‍රභූ තන්ත්‍රයක් ලෙස ස්ථාපිත වී තිබිණි. ආගමික කටයුතු සඳහා ඔවුන් දැක්වූයේ අඩු කැප කිරීමකි. නූතන යුගය ආරම්භයේ සිදු වෙමින් පැවති ආර්ථික වෙනස්කම්, වාණිජ ආර්ථිකයේ වැඩීම ආදී පුනරුද චින්තනයන්ට ඔවුන් වශි වී තිබිණි. පාප්, බිශොප් වැනි ඉහළ තලයේ පූජකවරුන්ගේ සුඛෝපභොගි ජීවන රටාව දෙවෙනි වුයේ රාජ කුමාරවරුන්ට පමණි. පූජක සංවිධානයේ අවශේෂ පූජකවරු ද තමාගේ වසම් තුළ සුරාසැල්, ක්‍රීඩාගාර යනාදී ලාබ දෙන ව්‍යාපාර පවත්වාගෙන ගියහ. රෝමානු කතෝලික පුජකයන් විසින් අනිවාර්යෙන් පිළිපැදිය යුතු බ්‍රහ්මචරියාව පිළිපැදීම ද මෙකල පූජක වරුන් විසින් ප්‍රසිද්ධියේ කඩ කරමින් සිටියහ. ආර්ථික ලාභ පතා බදු එකතු කිරීම පමණක් නොව ඊටත් වඩා දූෂිත පියවර ගැනීමටත් ඔවුහු පෙළඹුනහ. මුදල් උපයා ගැනීම සඳහා කතෝලික පල්ලියේ වගකිය යුතු තනතුරු ඉහළ මිළකට විකිණිමට පාප්වරු හුරුව සිටිය හ.
“මෙකල පාප්වරුන්, ආධ්‍යාත්මික අංශයෙන් දිළිඳු වී සිටියත් ධනවත්කමින් උසස් තත්වයක් ගෙන සිටියහ. නිලතල පල්ලිය මගින් ධනවත් අයට විකිණීම මේ කාලයේ විශේෂ ලක්ෂණයක් විය. මෙය ‘සිමෝනි’ ක්‍රමය නමින් හැඳින්විණි’. 10 වන ලියෝ පාප්තුමා විසින් නිලතල දෙදහසක් විකිණීමෙන් වසරකට ශුද්ධ ලාභය ලක්‍ෂ පහක් ලබා ගෙන ඇත.”
පාප් විසින් මෙලෙස මුදලට තනතුරු ලබා දුන් පූජකයින් උපයෝගී කරගෙන සැදැහැවතුන් පෙළමින් ධනය රැස් කරන්නට විය. මෙලෙස ධනය රැස් කිරීම සඳහා පූජකයින් විසින් උපයෝගී කර ගත් එක් ක්‍රමයක් වූයේ මුදල් ගෙවා පල්ලිය විසින් පණවා තිබූ තහනම්වලින් මිදීමේ අවසරය ලබා දීමයි. උදාහරණයක් ලෙස පල්ලිය විසින් පනවා තිබූ ඇතැම් ඥාතීන් අතර විවවාහයන් පල්ලියට කිසියම් මුදලක් ගෙවීමෙන් සිදු කළ හැකිව තිබිණි. මේ ආකරයට පූජකයින් සහ පූජක සංවිධානයේ තිබූ දුෂණ ආගමික විප්ලවයකට ප්‍රධාන හේතුවක් ලෙස ඉතිහාසඥයින් පෙන්වා දෙන්නේ මාටින් ලූතර් ඇතුළු පුරෝගාමි ප්‍රතිසංස්කරණවාදීන් මූලිකව අවධානය යොමු කළේ මෙම ක්‍ෂෙත්‍රය කෙරෙහි වීම නිසාය.
රෙපරමාදු ප්‍රතිසංස්කරණයන් ඇති වීම කෙරෙහි බලපාන ලද ආගමික හේතූන් පිළිබඳ අවධානය යොමු කරන විට පුනරුද යුගයේ පැවැති ධාතු වන්දනයද වැදගත් වේ. ක්‍රිස්තුස්වහන්සේගේ හා මරියතුමියගේ භාණ්ඩවල කොටස් ලෙස සලකන ලද පුජනීය වස්තූන්ට ලෙඩුන් සුව කිරීමට හා වාසනාව ගෙන ඒමට අසීමිත බලයක් ඇතැයි මෙකල විශ්වාස කෙරිණි. මෙම විශ්වාසය ප්‍රයෝජනයට ගත් පල්ලිය ඒ තුළින් ධනය රැස් කිරීමට ක්‍රියා කළහ. මේ යුගයේ කතෝලික පල්ලිය විසින් ජනයා රැවටීම කෙතෙරම් ද යත් මිථ්‍යා විශ්වාසයේ ගිලුණ ගොවියෙකුට ඕනෑම පරණ ලී කැබැල්ලක් පෙන්වා එය ක්‍රිස්තුස්වහන්සේ ඇණ ගසන ලද කුරුසයේ කොටසක් යැයි පෙන්වා දී එය විශ්වාස කරවීමට හැකියාව තිබිණි. ඉරස්මස් නම් කතෝලික පල්ලිය විවේචනය කරන ලද ප්‍රතිසංස්කරණවාදියා පෙන්වා දෙන්නේ සම්පූර්ණ නැව් දොළහක් සැදීමට තරම් ලී තොගයක් සමකාලීන ක්‍රිස්තියානි පල්ලිවල ප්‍රදර්ශනයට තබා තිබූ බවයි.
යුරෝපයේ ආගමික ප්‍රතිසංස්කරණයට තුඩුදුන් හේතු සාධක පිළිබඳ කරන විමසුමේ දී ඉතිහාසඥයන් ගේ අවධානයට ලක්වන ප්‍රධාන ක්‍ෂේත්‍රයක් වන්නේ ආර්ථික ක්‍ෂෙත්‍රයයි. ඉතිහාසඥයින්ගේ මතය වී ඇත්තේ මෙම ආගමික විප්ලවය ඇති වීම කෙරෙහි ආගමික හේතූන්ට වඩා දේශපාලන හා ආර්ථික හේතූන් මුල් වන්නට ඇති බවයි. ආගමික ක්‍ෂෙත්‍රයේ පැවැති දූෂණ කාලයක් තිස්සේම පැවති නමුත් එය විප්ලවීය පරිවර්තනයක් බවට පත්වීමට මුල් වූයේ දේශපාලන හා විශේෂයෙන් ආර්ථික හේතු බවයි.
පුනරුද යුගයේ අවසාන භාගය වනවිට කතෝලික පල්ලිය සතුව අසීමිත ධනයක් හා බලයක් ගොඩනැගී තිබුණි. එසේ ම යුරෝපය පුරා පැවති සැම කතෝලික පල්ලියකින් ම ධනය රෝමය වෙත ඇදී ගියේය. මෙම ධනය පාප්වරුන්ට ලැබීමට මූලික හේතුව වූයේ ඒ වන විට යුරෝපයේ පැවති ඉඩම්වලින් 1/3 අයිතියක් පල්ලිය සතු වූ බැවිනි. උාදාහරණයක් ලෙස ජර්මනියේ සමස්ත භූමියෙන් 33% ක් ඒ වන විට පල්ලිය සතුව පැවතිණි. එසේම පල්ලියේ ධන වර්ධනය කෙරෙහි පල්ලිය සතුව පැවති බදු එකතු කිරීමේ අයිතිය ද හේතුවක් විය. පල්ලිය සතු මෙම අසීමිත ධනය, රැස්කරන ලද දේපළ හා ඉඩකඩම් යනාදිය ලබා ගැනීමට ඒ වන විට වර්ධනය වෙමින් පැවති නව රාජාණ්ඩු සහ නැගී එමින් සිටි මධ්‍යම පාංතිකයන් තුළ දැඩි අපේක්‍ෂාවක් පැවතිණි.
මධ්‍යතන යුගයේ දී සාමාන්‍ය දුගී ජනයා කුස ගින්නේ පෙළෙද් දී කතෝලික පල්ලිය ආර්ථික අතින් සවිමත් සංස්ථාවක් බවට පත් වීම කෙරෙහි කුරුස යුද්ධ ද හේතුවක් විය. කුරුස යුද්ධවලට ගිය රදළයෝ තම ඉඩම් පල්ලියට පූජා කොට යුද පෙරමුණට ගිය අතර එම ඉඩම් අවසානයේ දී පල්ලිය සතු විය. තවද බොහෝ රදළවරු මෙන් ම රජවරුන් ද පල්ලියට විශාල වශයෙන් ඉඩම් පරිත්‍යාග කර තිබීම තුළ පල්ලිය ප්‍රධාන ඉඩම් හිමියා බවට පත්ව තිබිණි. පල්ලිය සතු මෙම දේපළ සඳහා කිසිම බද්දක් රජයට නො ගෙවනු ලැබීය. පල්ලිය සතුව විශාල බලයක් තිබීමත් ඔවුහු රජයට බදු නොගෙවීමත් ආර්ථික වශයෙන් නැගී එන නව රාජාණ්ඩුවලට ප්‍රබල ගැටලුවක් විය. මෙහි ප්‍රතිඑල වශයෙන් රාජ්‍යයේ බදුබර මූලික වශයෙන් දරන ලද්දේ ධනවත් වෙළෙන්දන් , බැංකුකරුවන්, රදළයින් සහ ගොවියන් විසිනි. මෙම ආර්ථික පසුබිම තුළ පල්ලිය සතු රැස්කරගන්නා ලද ධනය ලබා ගැනීම සඳහා නව රාජාණ්ඩුවල රජවරු ක්‍රියා කළහ.
“ ක්‍රි.ව 1249 දී ප්‍රංශයේ රජ කළ හතර වන පිලිප් රජතුමා පුජක පක්‍ෂයද ජාතික භාණ්ඩාගාරයට අයබදු ගෙවිය යුතු යැයි කියා සිටියේ ය. මෙයින් කෝපයට පත් අටවෙනි බොනිපාස් පාප්තුමා, පාප්තුමාගේ අවසරයක් නොමැතිව බදු නොගෙවිය යුතු යැයි ආඥාවක් ද නිකුත් කළේය.” ආගමික ප්‍රතිසංස්කරණයන් කෙරෙහි කතෝලික පල්ලිය විසින් පනවා තිබූ ආර්ථික ක්‍ෂේත්‍රය සම්බන්ධ වූ තහංචි ද හේතු වී ඇත. එනම් ධනය රැස් කිරීමේ නව ව්‍යාපාරයක් වූ මුදල් පොළියට දීම, වෙළෙඳාම් කිරීම පාප් සභාව විසින් ප්‍රතික්‍ෂේප කිරීම නිසා නැගී එන මධ්‍යම පාංතිකයන් ද කතෝලික සභාව කෙරෙහි කළකිරී සිටියේය. මේ නිසා මධ්‍යම පංතිකයන් අතර පැවති ධනවාදී ආකල්ප ප්‍රොතෙස්තන්ත ආචාර ධර්ම වර්ධනය වීමට හේතු වූ බව ඉතිහාසඥයෝ මෙන් ම සමාජ විද්‍යාඥයෝ ද තර්ක කරති. “ ප්‍රොතෙස්තන්ත වාදයේ හා ධනවාදයේ නැගීම අතර කසියම් හෝ සම්බන්ධකමක් ඇත්නම් එය පැහැදිලි වන්නේ කැල්වින් විසින් ඉදිරිපත් කරන ලද යම් යම් සංකල්පවලිනි. වෙළෙඳාම හා මුදල් පොළියට දීම ක්‍රිස්තු භක්තියක් අනුමත නොකළ ද සාධාරණ ලාභයක් ලබන වෙළෙඳාමක්, සාධාරණ පොලියට මුදල් ණයට දීමත් අනුමත කළ කැල්වින් යමකු කුමන රැකියාවක් කළද එමගින් දෙවියන්ට සේවය කරන බැවින් එය හොදින් හා ඉමහත් කැපවීමෙන් යුතුව ඉටු කළ යුතු බව කියා සිටියේය .”
යුරෝපයේ වැඩෙන ධනවාදයට අනුකූලව රෙපරමාදු ප්‍රතිසංස්කරණ සිදු වූ බවට මැක්ස් වේබර් නම් සමාජ විද්‍යාඥයාද තර්ක කරයි. The rising of capitalism and protestant ethics :ධනවාදයේ වැඩීම හා ප්‍රොතෙස්තන්ත ආචාර ධර්ම* නම් වූ කෘතියක් පළ කරමින් ඔහු තර්ක කළේ රෙපරමාදු ප්‍රතිසංස්කරණයට පාදක වූයේ යුරෝපයේ වැඩෙන ධනවාදය බවයි. ඔවුන්ගේ තර්කය වූයේ වෙනස් වන ආර්ථික රාමුවට අනුව පල්ලියේ ඉගැන්වීම් ද වෙනස් විය යුතු බවයි.
ආගමික ප්‍රතිසංස්කරණ කෙරෙහි දේශපාලනමය හේතු සාධක ද බොහෝ සෙයින් ඉවහල් වී ඇති බව ප්‍රබල මතයකි. යුරෝපයේ බිහි වෙමින් පැවති නව රාජාණ්ඩු පල්ලියේ ආධිපත්‍යයෙන් මිදීමට අවස්ථාව ලැබෙන තෙක් බලා සිටියහ. උදාහරණ ලෙසට ජර්මනියේ කුමාරවරු රෝම පල්ලියට ආගමික වශයෙන් යටත් වීමටත් දේශපාලන වශයෙන් ස්පාඤ්ඤයට යටත් වීමටත් සිදුවීම ගැන කළකිරිමට පත්ව තිබූ මේ කාලයේ ලුතර්ගේ ද, කැල්වින්ගේ ද අදහස් තම අපේක්‍ෂා ඉටු කිරීමට අධාර වූ බැවින් මෙම පාලකයෝ ප්‍රොතෙස්තන්ත රෙපරමාදු ව්‍යාපාරයට සහයෝගය දැක්වීය. මේ ප්‍රවණතාව විශේෂයෙන් එංගලන්තය සම්බන්ධයෙන් කැපී පෙනෙයි. අටවන හෙන්රි රජුට දික්කසාදයට රෝම පල්ලිය අවසර නොදීම නිසා ලූතර් වාදී ආගමික ප්‍රතිසංස්කරණ ඇති වීමත් සමඟ පාප් වහන්සේගේ බල අධිකාරියෙන් ඉවත් ව නව ප්‍රොතෙස්තන්ත ආගම ව්‍යාප්ත කිරීමට සහාය දැක්වීය. දේශපාලනික වශයෙන් ද ආගමික ප්‍රතිසංස්කරණයන් ඇති වීම කෙරෙහි ප්‍රබල බලපෑමක් සිදු වන්නට ඇතිබවට විශ්වාස කෙරේ. මධ්‍යතන යුගයේ විකේන්ද්‍රගත වී තිබූ රජුගේ බලය නව රාජාණ්ඩු යටතේ සංකේන්ද්‍රගත වන්නට විය. ජාතික රාජ්‍යයන් ගොඩනැගීමට මොවුන් දැක් වූ උනන්දුව නිසා පාප් වහන්සේලාගේ බලකිරීම්වලට යටත් වීමට රජවරු කැමති නොවූහ. එසේම තම තමන්ගේ රටවල් තුළින් රෝමයට ඇදී යන ධනය රට තුළ ඉතිරි කර ගැනීමට නම් පාප් වහන්සේගේන් නිදහස් විය යුතු බව මෙම නව රාජාණ්ඩු පාලකයෝ කල්පනා කළේය.
ඒ නිසා රජවරු රෝම පල්ලියේ අදහස්වලට ගරු නොකරමින් සංකේන්ද්‍රීය පාලන ක්‍රමයක් ගොඩනගා ගැනීමට නව ප්‍රොතෙස්තන්තවාදීන්ගේ කඳවුරට අනුග්‍රහය දක්වන්නට විය. උදාහරණ වශයෙන් ප්‍රංශයේ පිලිප් රජු පාප් වහන්සේගේ විරෝධය නොතකා ප්‍රංශ බිශොප්වරයකු සිරභාරයට ගැනීමට එඩිතර විය.
රෙපරමාදු ප්‍රතිසංස්කරණ වාදයේ ප්‍රභවය හා විකාශනය
කතෝලික පල්ලිය දෙකඩ වී ප්‍රොතෙස්තන්ත නමින් නව ආගමික සංස්ථාවක් ඇති වීම පුනරුද සමයේ දී සිදු වුවත් මෙම ප්‍රතිසංස්කරණයන්ගේ ප්‍රභවයට හේතු වු ක්‍රිස්තු සභාව විවේචනය කිරීම මධ්‍යතන යුගයේ සිට ම දක්නට ලැබිණි. මධ්‍යතන යුගයේ සිටි ශාන්ත බර්නාඩ් හා ශාන්ත ප්‍රැන්සිස් වැනනෝ පල්ලි සංවිධානය විවේචනයට ලක් කළ මුල්කාලීනයෝ ය. “පල්ලියේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරුද්ධව එවක සිටි විද්වතුන් දියත් කළ ප්‍රහාරයන් අතර ප්‍රධාන තැනක් ගත්තේ 14 වැනි සියවසේ එංගලන්තයේ ඔකස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වූ ජෝන් වික්ලීෆ් (Jone wyclif)(1320-1384) විසින් කරන ලද ප්‍රකාශය යි. ඔහුගේ මතය වූයේ පල්ලිය මිනිසුන්ගෙන් බොහෝ දුරස්ව පැවති බවත් එහි දර්ශනය ජනතාවට වඩාත් කිට්ටු විය යුතු බවත් ය.” ක්‍රි.ව 1365 දී පාප් වහන්සේට අවුරුදු පතා ගෙවිය යුතු බද්ද වන පීටර්ස් පෙන්ස් බද්ද නොගෙවන ලෙස ඔහු එංගලන්ත ජනතාවට කියා සිටියේය. එමෙන් ම ඔහු පාප් වහනසේගේ සහ පූජකවරුන්ගේ නොපනත් ක්‍රියා ප්‍රසිද්ධියේ හෙළා දැක්කේය. වික්ලිෆ් පූජකතුමාගේ අදහස් ආගම් විරෝධි ලෙස සලකා පල්ලිය විසින් ඔහුව නෙරපා දැමීය. වික්ලිෆ් පූජකතුමාගේ දර්ශනය ඉදිරියට ගෙන ගිය පූජක වරයෙකු වූ ජෝන් හස් ද මධ්‍යතන යුගයේ සිටි ප්‍රබල කතෝලික පල්ලි විවේචකයකු විය. “පල්ලියේ දේපළ රාජසන්තක කළ යුතුය, පූජකයන් දිළිඳු බව වැළඳ ගත යුතුය, පූජකයන්ට පූපය හා වයින් ක්‍රිස්තුස් වහන්සේගේ සිරුර හා ලේ බවට පරිවර්තනය කළ නොහැකිය. මේ දෙදෙනාගේම අදහස් ද විවේචන ද මිථ්‍යාදෘෂ්ටි සේ ප්‍රකාශ කෙරුණු අතර ජෝන් හස් පණපිටින් ම පුළුස්සා දමන ලදි.” මේ අයුරින් ක්‍රිස්තු සභාව ප්‍රතිසංස්කරණය විය යුතු බවට දීර්ඝ කාලයක් තිස්සේ පැවති මහජන අපේක්‍ෂාවන්ට ක්‍රිස්තු සභාවෙන් ඉඩක් ලැබුණේ නැත. එහෙත් ඔවුනගේ අනුගාමිකයන් මුළුමනින් ම මර්දනය කිරීමට හෝ ඔවුනගේ ඉගැන්වීම් මුලිනුපුටා දැමීමට කතෝලික පල්ලියට නොහැකි විය.
රෙපරමාදු විප්ලවයේ තීරණාත්මක සන්ධිස්ථානය වන්නේ ජර්මනියයි. රෙපරමාදු ප්‍රතිසංස්කරණ ජර්මනියෙන් ආරම්භ වීමට බලපාන ලද හේතු සාධක රැසකි. ජර්මනිය අනෙකුත් යුරෝපීය රටවල් හා සසඳන විට බෝහෝ ක්‍ෂෙත්‍රවලින් පසුගාමී විය. ජර්මනිය තුළ මධ්‍යකාලීන ඓතිහාසික බලවේග යුරෝපයේ වෙන රටවලට වඩා ශක්තිමත් වීම හේතුවෙන් පුනරුදයේ බලපෑම ජර්මනියට ලැබුණේ සුළු වශයෙනි. කතෝලික පල්ලියේ දූෂණ එංගලන්තයේ හෝ ප්‍රංශයට වඩා ජර්මනියේ ප්‍රබල විය. ප්‍රංශයේ හා එංගලන්තයේ රජවරු මීට පෙර කතෝලික පල්ලියේ බලය සීමා කිරීමට යම් යම් පියවර ගෙන තිබිණි. මේ අතර පාප්ගේ බලපෑම ද අනෙක් ප්‍රදේශවලට වඩා ජර්මනියට ලැබිණි. ඊට හේතු වූයේ ජර්මනියට බලසම්පන්න මධ්‍යම පාලන ක්‍රමයක් නොමැති වීමයි. ජර්මනිය නමින් හැදින් වූ එක රාජ්‍යයක් නොපැවැති මෙකල ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වූ ලොකු කුඩා අර්ධ ස්වාධීන රාජ්‍ය අතිවිශාල සංඛ්‍යාවක් ජර්මනිය තුළ පැවතිණි. ආදිපාදවරු, කුමාරවරු, බිශොප්වරු ආදී විවිධ තරාතිරම්වල ප්‍රාදේශිය පාලකයෝ මේවා පාලනය කළහ. එසේම මේ අවධියේ ජර්මනියේ පාලකයා වූ ශුද්ධ රෝම අධිරාජ්‍යයා ජර්මනිය තුළ ඇතිවන ආගම පිළිබඳ වූ ස්වාධීන අදහස් පාලනය කිරීමට නොහැකි දුබල පුද්ගලයෙක් විය. මෙවැනි හේතු සාධකයන් ජර්මනිය තුළ ප්‍රතිසංස්කරණවාදයන් ආරම්භ වීමට සුදුසු වාතාවරණයක් ඇති කළේය.
මෙවැනි පසුබිමක් තුළ ක්‍රි.ව 1514 දී දහවෙනි ලියෝ පාප්තුමා රෝමයේ ශාන්ත පීතර දේවස්ථානය නැවත ගොඩනැගීමට ව්‍යාපාරයක් ආරම්භ කළේය. මේ සඳහා මුදල් සොයා ගැනීමට පහසුම රට ජර්මනිය යැයි කල්පනා කළ මොහු ඔහුගේ නියෝජිතයා වශයෙන් ජොහාන් ටෙට්සල් නම් පූජකයා උතුරු යුරෝපයේ මුදල් රැස්කිරීම සඳහා යෙදවීය. මේ සඳහා පල්ලිය අනුගමනය කළ ජනප්‍රිය ක්‍රියා මාර්ගයක් වූයේ පූර්ණඵල විකිණිමයි. පූර්ණඵල යනු කිසියම් පුද්ගලයෙකු විසින් කරන ලද පාප කර්මයන්ගෙන් මිදීම සඳහා පල්ලිය වෙත කිසියම් මුදලක් ගෙවා නිදහස් වීම පිණිස සකස් කළ පත්‍රිකාවකි. මධ්‍යතන යුගයේ මෙම පව් සමා කිරීමේ ක්‍රමය ක්‍රිස්තියානි දේවධර්මවාදයේ මුලිකාංගයක් විය. විශේෂයෙන් පල්ලිය සතු පුද්ගලයින් පාපයෙන් මිදවීමේ හැකියාව ඇතැයි යන නියාමය මුලින් ම ඉදිරිපත් වූයේ දහතුන් වන සියවසේ දී පමණ ය. මේ ඉගැන්වීම්වලට අනුව පල්ලියේ සහ කතෝලික ආගම වෙනුවෙන් අතිමහත් සේවයක් කළ පුද්ගලයන්ගේ ආත්මය ගලවා දීම සඳහා ඔවුන්ගේ පාපයන් නැති කිරීමට පල්ලියට හැකි බව කතෝලික පූජකවරු දේශනා කරන්නට විය. පුනරුද සමය වන විට පල්ලියේ ධනය ඉපයීමේ ප්‍රධාන මාර්ගය වූයේ මෙම පව් සමා කිරීමට ඇති අයිතිය වෙළෙඳ පොළේ විකිණීම හෙවත් පූර්ණඵල පත්‍රිකා විකිණිමයි.
ක්‍රි.ව 1483 දී උපත ලද මාටින් ලූතර් කිං නීතිඥයකු වීමට අධ්‍යාපනය ලැබුවත් පසු කාලීනව ඔහු ජර්මනියේ විට්න්බර්ග් විශ්වවිද්‍යාලයේ දේවධර්මය පිළිබඳ මහාචාර්යවරයෙක් බවට පත් විය. පල්ලියේ සිදුවන දූෂණ හා වංචා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දුටු මොහු පූර්ණඵල විකිණිම ප්‍රසිද්ධියේ විවේචනය කළේය. “ 1517 දී ලූතර් තමාට පටහැනි වූ සියලු දෙනාට විරුද්ධව පූර්ණඵල පිළිබඳ විවාද කිරීමට ඔහුගේ අදහස් තිබෙන බව දැනුම් දිණි. හෙතෙම විට්න්බර්ග් දෙව්මැදුරේ දොරේ එම විෂය ගැන කරුණු පස් අනූවක් අඩංගු කඩදාසියක් ඇලෙව්වේය. විකණූ සහ මිළට ගත් පූර්ණඵල කිසිත් වටිනාකමක් නැති බවත් මුදල් ගෙවීමෙන් පාපයේ දඬුවමින් වැළකෙන්නට බැරි බවත් පාපයට සමාව පශ්චාත්තාපය හා දෙවියන් ගැන විශ්වාසයෙන් පමණක් ලබා ගත යුතු බවත් එහි කියා තිබුණේ ය.” මාටින් ලුතර් විසින් ඉදිරිපත් කරන ලද මෙම ලියවිල්ල මේ වන විට මුද්‍රණ යන්ත්‍රය ප්‍රචලිතව පැවති යුරෝපය පුරාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. කතෝලික පල්ලියේ දූෂණයන්ට එරෙහිව හඬනගන මාටින් ලූතර්ගේ විවේචනයන් හේතුවෙන් පූර්ණඵල අළෙවිය ජර්මනිය පුරා සීඝ්‍රයෙන් පහත වැටිණි. ලුතර් විසින් 1517 දී පල්ලියට විරුද්ධව එල්ල කළ මේ දැවැන්ත අභියෝගය ප්‍රොතෙස්තන්ත රෙපරමාදුවේ ආරම්භය වී යැයි සැලකිය හැකිය. ලූතර් තමන්ට විශාල තර්ජනයක් ලෙස සැලකූ ප්‍රාදේශීය ක්‍රිස්තු ආගමික පුජකයෝ ලුතර් නිහඬ කිරීමට උත්සහ කළහ. ඔවුහු තම අදහස් ඉවත්කරගන්නා ලෙස ලුතර්ගෙන් ඉල්ලා සිටියේය. ඒ වෙණුවට තම අදහස්වල තදින් එල්බ සිටි ලුතර් පුර්ණඵල විකිණිම පමණක් නොව පල්ලි සංවිධානය චිවේචනය කරමින් දිගටම සිය අදහස් ප්‍රකාශ කළේය. පාප්තුමා වරදක් නොකරයි’ යන මතය 1519 දී බැහැර කළ ලුතර් සාමාන්‍ය පුජකයන්ට මෙන් ම පාප් තුමාට ද වරදින්ට පුළුවන් බව කියා සිටියේය.
මෙසේ කතෝලික පල්ලියට විරුද්ධව ප්‍රබල හඬක් නැගීමට ලුතර්ට හැකි වුයේ ඔහුට කිසියම් ආකාරයක දේශපාලන රැකවරණයක් ලැබී තිබුණු බැවිනි. කිසියම් බලවතෙකුගේ ආරක්‍ෂාවක් නොමැතිව ක්‍රිස්තුසභාවිරෝධි දේශන දිගටම කරගෙන ගියහොත් තම ජීවිත පවා අනතුරේ බව දුටු ලූතර් තමන් ජීවත් වූ සැක්සනි ප්‍රදේශයේ පාලකයා වූ ෆෙඩ්රික් කුමරු සමග කිට්ටු සබඳතාවක් ගොඩනගා ගත්හ. මෙම දේශපාලන රැකවරණය පාප්තුමා හා ශුද්ධ රෝම අධිරාජ්‍යා විසින් ලූතර්ට එරෙහිව පියවර ගනු ලැබීම ප්‍රමාද කිරීමට හේතු විය. එහෙත් ප්‍රාදේශීය පූජකයන්ගේ දැඩි ඉල්ලීම හේතුවෙන් මාටින් ලුතර්ට එරෙහිව පියවරක් ගෙන ඔහුට දඬුවම් කරන ලෙස ඒ වන විට ශුද්ධ රෝම අධිරාජයා ව සිටි ස්පාඤ්ඤයේ පස්වන චාල්ස්ගෙන් පාප් වහන්සේ ඉල්ලීමක් ද කළේය.
මේ අවස්ථාවේ සැක්සනියේ ෆෙඩ්රික්ගේ ආරක්‍ෂාව ලූතර්ට ලැබීම නිසා ශුද්ධ රෝම අධිරාජ්‍යාට මීට පෙර අවස්ථාවල කළාත් මෙන් ලූතර්ට දඬුවම් කොට ඔහුගේ මතවාද යටපත් කිරීම කළ නොහැකි විය.
“ එහෙත් 1520 දී ලූතර් මිසදුටුවෙකු වශයෙන් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළ දහ වන ලියෝ පාප් තුමා ඔහු කතෝලික සභාවෙන් නෙරපා දමීය. පාප් තුමා ක්‍රිස්තු විරෝධියෙකු ලෙසත්, පල්ලිය පාපයේ ද අපායේ ද මරණයේ ද රාජධානිය ලෙසත් හැදින් වු ලූතර් තමන් පල්ලියෙන් නෙරපන ලද පාප් ආඥාව 1520 දෙසැම්බර් මස ප්‍රසිද්ධියේ ගිනිබත් කළේය.”
මේ තත්වය සමථයකට පත් කිරීම සඳහා 1521 දී එවකට ශූද්ධ රෝම අධිරාජ්‍යයා වූ පස්වන චාල්ස් විසින් ජර්මනියේ ඩයට් සභාවට ලූතර් කැදවා සිය දුර්ලබ්ධිය අත් හරින ලෙසත් එය ප්‍රචාරය කිරීමෙන් වැලකී සිටන ලෙසත් ඉල්ලා සිටියේය. එහිදී ඔහු ඉදිරිපත් කරන ලද කරුණුවලට ඩයට් සභාවේ වැඩිදෙනෙක් කැමති වු නිසා ඔහුට විරුද්ධව පියවර ගැනීමට නොහැකි විය. 1521 දී මේ නිසා නිල වශයෙන් කතෝලික සභාව දෙකඩ විය. ඉන් පසු ලුතර් මිථ්‍යාදෘෂ්ටිකයෙකු හා රාජද්‍රෝහියෙකු ලෙස පාප්සභාව විසින් නම් කරන ලදි. තවද ඔහුගේ පොත - පත මුද්‍රණය හා බෙදා හැරීමත් තහනම් කළේය. කෙසේ හෝ ජර්මනියට බලසම්පන්න රාජ්‍ය පාලනයක් නොමැති වූ නිසා දේශයේ කුමාරවරු ඔහු ආරක්‍ෂා කර ගත්හ. මෙම සිදුවීම් මාලාවෙන් පසු ලුතර්ගේ නව දහම ජර්මනිය පුරා සීඝ්‍රයෙන් පැතිරිණි. ආකර්ෂණීය දේවධර්මාචාර්යවරයෙකු වූ ලුතර් ජර්මන් සමාජයේ බුද්ධිමත්, ප්‍රභූන්, සාමාන්‍ය දුප්පත් පොහොසත් බෙහෝ දෙනෙකු සිය දහම වෙත යොමු කර ගැනීමට සමත් විය. ලූතර්ගේ දහම පැතිරීම සිදු වූයේ ඉහළ සිට පහළටය. එනම් ඔහුට මුලින් ම උදව් කළේ රජවරු සහ පාලකයන් ය. මේ නිසා ඔහුගේ මතවාද මුලින් පොදු ජනයා අතර පැතිරීමක් දක්නට නොලැබිණි.
ලූතර්ගේ මතවාදයන් ජනතාව අතර පැතිර යාමත් සමඟ සමාජයේ නොයෙක් තරාතිරම්වල විප්ලවීය අදහස් දැරු කණ්ඩායම් නොයෙක් අරගල කිරීමට පෙළඹුණහ. පළමු අරගලය ගොඩනැගුවේ පල්ලිය සතුව තිබූ විශාල නින්දගම්වල වැඩ කළ ගොවි ප්‍රවේණිදාසයින්ය. මෙය ගොවිජන විප්ලවය ලෙස හඳුන්වයි. “මීට වඩා බරපතල සිද්ධියකි ගොවීන්ගේ කැරැල්ල, එය එල්ල කරන ලද්දේ අඩක් ප්‍රවේණි රදළවරුන් විසින් ඔවුන් පිට පටවන ලද නොයෙක් ආකාර බදුබර යනාදියටත්, අඩක් රෝමයේ බලහත්කාර අයකිරීම්වලටත් විරුද්ධවය.” මෙම ගැටුම් නිරාකරණය කිරීමට 1530 දී ඔග්බර්ග් නගරයේ සමුළුවක් පැවැත්වීය. මෙහි දී අලුතින් ආගමික ප්‍රතිසංස්කරණ හදුන්වා දීම තහනම් කරන ලෙස සම්මුතියකට අත්සන් කළහ. මේ සම්මුතියට ලූතර්ගේ ධර්මය ද ඇතුළත් විය. මෙම සම්මුතියට අනුව සාම්ප්‍රදායික රෝමානු පල්ලිය රෝමානුකතෝලික සම්මත නිකාය වශයෙන් හැඳින් වූ අතර අලුත් ආගමික ප්‍රතිසංස්කරණවාදී නිකායන් ප්‍රෙතෙස්තන්ත වාදීන් ලෙස හැදින්වීය. ක්‍රි.ව 1546 දී ලූතර්ගේ අභාවය සිදු වන විට ජර්මනියේ විශාල ප්‍රදේශයක ජනයා ලූතර්වාදය වැළඳගෙන සිටි අතර ක්‍රි.ව 1550වන විට මුළු අධිරාජ්‍යයෙන් භාගයක් පමණ ජනතාව ලූතර්වාදය වැළඳගෙන සිටියහ.
ක්‍රි.ව 1517 දී ලුතර්ගේ දර්ශනය ජනතාව අතර නොයෙක් අපහසුතා මධ්‍යයේ පැතිර යන විට ඒ හා සමගාමීව යන්නා සේම ඒ හා සමගාමීව නොයන නොයෙකුත් ආගමික න්‍යායන් හා මතවාදයන් බිහි විය. ඉන් මුල් තැනක් ගත් එක් ප්‍රධාන මතවාදයක් බිහි කළ පූජකයෙකු වූයේ ස්විස්ටර්ලන්තයේ විසූ උල්රිච් ස්වංග්ලීය.
ස්විස්ටර්ලන්තයේ සූරිච් නගරයේ විසූ ඉරෙස්මස්ගේ ගෝලයකු වූ උල්රිච් ස්විංග්ලි ක්‍රි.ව 1519 සිට 1522 දක්වා කාලවකවානුව තුළ ඔහු ලියන ලද කෘතීන් තුළින් ලූතර්ගේ දර්ශනයට සමානකම් ඇති දර්ශනයක් ඔහු ඉදිරිපත් කළේය. ස්වංග්ලි ධර්්මය ඉගැන්වීමට පාසල් ද පිහිටු වීය. ඔහුගේ ධර්මය ස්විස්ටර්ලන්තයේ සෑම ප්‍රදේශයකම පැතිර ගියේය. ක්‍රි.ව 1529 වන විට මෙම ධර්මය බොහෝ පාලන ප්‍රදේශවල මිනිසුන්ගේ ආගම බවට පත් වී තිබිණ.
“ ඔහුගේ නායකත්වය පිළිගත් සියුරික් නගරවාසීහු තමන් කොන්ස්ටන්ස්හි පූජකයාට යටත් නැත’යි ප්‍රකාශ කොට ප්‍රොතෙස්තන්තවාදය වැලඳගත්තෝය(1524) බර්න්වාසීහු ද ඔවුන් අනුගමනය කළෝය (1527).” මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රි.ව 1531 ස්විට්සර්ලන්තයේ සිවිල් යුද්ධයක් හට ගැනිණ. මෙම යුද්ධයේ දී ප්‍රතිවාදීන් විසින් ස්විංග්ලි පුජකතුමා මරා දමනු ලැබීය.
යුරෝපයේ සිදු වූ ආගමික ප්‍රතිසංස්කරණයන්ට නව මුහුණුවරක් ලබා දෙමින් මාටින් ලූතර් විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරය ඉදිරියට ගෙන ගිය තවත් ප්‍රබල ප්‍රතිසංස්කරණවාදියෙකු ලෙස ප්‍රංශයේ ජෝන් කැල්වින් හඳුනා ගත හැකිය. මාටින් ලූතර්ගේ නව ආගමික ප්‍රතිසංස්කරණ ඔස්සේ ප්‍රොතෙස්තන්තවාදය කෙරෙහි පැහැදුණු කැල්වින් 1533 දී පමණ ප්‍රොතෙස්තන්තවාදය වැලඳ ගෙන වැඩි කල් නොගොස් ප්‍රෙතෙස්තන්තවාදී දේශකයකු බවට පත් විය. මෙකල කතෝලික පල්ලියේ ආධාර ඇතිව පළමු වන ප්‍රැන්සිස් රජු ප්‍රංශයේ ප්‍රොතෙස්තන්තවාදීන්ට එරෙහිව ගෙන ගිය දැඩි මර්දනකාරී ක්‍රියාමාර්ගය නිසා කැල්වින්ට 1535 දී ස්විට්සර්ලන්තය වෙත පලා යාමට සිදු විය. මේ කාලයේ දී ඔහු ජීනීවා නගරය කේන්ද්‍ර කර ගෙන සිය ව්‍යාපාරය වඩාත් පුළුල් ලෙස ඉදිරියට ගෙන යන්නට විය. කැල්වින් සිය සුප්‍රසිද්ධ ග්‍රන්ථය වූ Institutes of The Christian Religion කෘතිය තුළින් සිය දර්ශනය වඩාත් පුළුල් හා මතවාදී ලෙස ජනයා අතරට ගෙන යන ලදි. ප්‍රෙතෙස්තන්තවාදයේ සියලු මුලධර්ම විස්තරාත්මකවත් තර්කානුකූලවත් නිරවුල් හා සංවිධිත ලෙසත් ඉදිරිපත් කළේය. කැල්වින්ගේ ඉගැන්වීම් අතර වඩාත් ජනප්‍රිය වූයේ පල්ලිය සංවිධානය විය යුතු ආකාරය පිළිබඳ වූ මතයයි. කැල්වින්ගේ අනුගාමික දේශකයෝ ජිනීවා නගරයේ සිට මුළු යුරෝපය පුරාම සංචාරය කරමින් ජනතාව තම නිකායට හරවා ගැනීමට කටයුතු කළහ. කැල්වින්ගේ දර්ශනය යුරෝපයේ ප්‍රචලිත වීම කෙරෙහි බලපාන ලද තවත් මූලික හේතුවක් වූයේ ප්‍රභුවරුන්ගේ සහ රදළයන්ගේ අනුග්‍රහය ඔහුට හිමි වූ බැවිනි. “ක්‍රි.ව 1564 කැල්වින් මිය යන විට ඔහුගේ මතවාද මිනිසුන් හොඳින් ග්‍රහණය කරගෙන තිබිණ. ප්‍රංශයේ පමණක් ලක්ෂ 10පමණ කැල්වින් අනුගාමිකයන් විය. ස්කොට්ලන්තයේ සම්පූර්ණයෙන් ම පාහේ ද, එංගලන්තයේ සෑහෙන කොටසක් ද කැල්වින් අනුගාමිකයන් බවට පත් විය. හංගේරියාව ඇතුළු දකුණු යුරෝපීය රටවල ද සෑහෙන ප්‍රමාණයක් කැල්වින් නිකායට බැඳිණි”
ආගමික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල
කතෝලික පල්ලියේ පැවැති විවධ දූෂණයන් මෙන් ම සමකාලීන යුරෝපා සමාජයේ පැවැති දේශපාලන, ආර්ථීක පසුබිමෙහි වූ තත්ත්වයන්හි ප්‍රතිඵල නිසා ද කතෝලික පල්ලියේ ප්‍රතිසංස්කරණයන් අපේක්‍ෂා කළ යුරෝපීයයන් නූතන යුගයේ උදාවත් සමඟ සාම්ප්‍රදායික කතෝලික පල්ලිය නව මාවතකට ගැනීමට සංවිධානය වූහ. එය ලෝක ඉතිහාසය තුළ ඉතිහාසගතවන්නේ ආගමික ප්‍රතිසංස්කරණ වශයෙනි. මෙසේ කතෝලික පල්ලියේ බලයට විරුද්ධව නැගී සිටි ප්‍රොතෙස්තන්තවාදීන් හෙවත් රෙපරමාදුවාදීන්ගේ ක්‍රියාකලාපයන් හෙතුවෙන් යුරෝපයේ කැපී පෙනෙන වෙනස්කම් රැසක් ආගමික, සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන ක්‍ෂෙත්‍රයන් තුළ සිදු විය. ඒ අනුව රෙපරමාදු ආගමික ප්‍රතිසංස්කරණයන්හි ප්‍රතිඵල රැසක් නූතන ලෝකයට උරුම විය.
මෙම ආගමික ප්‍රතිසංස්කරණයන්හි ප්‍රධානතම ප්‍රතිඵලය වූයේ යුරෝපයේ ආගමික ඒකාග්‍රතාව බිඳී ගොස් නව ආගමික නිකායන් හා සංකල්ප බිහිවීමයි. ඒ අනුව සියවස් ගණනාවක් පුරාවට අඛණ්ඩව පැවතියා වූ ද යුරෝපය ආගමික වශයෙන් එක්සත් කර තිබුණා වූ පාප්වහන්සේ ප්‍රමුඛ කතෝලික සභාව දෙකඩ වී නව ආගමික නිකායක් වශයෙන් ක්‍රිස්තියානි ප්‍රෙතෙස්තන්තවාදය යුරෝපයේ ආරම්භ වීම දැක්විය හැකිය.“ ආගමික ප්‍රතිසංස්කරණයේ ප්‍රතිඵලය වුයේ මිනිසුන් මහත් ගණනක් සභාව හැර යාම බැව් පෙන්වා දී ඇත. මේ පාඩුව මර්දනය නොකළා නම් ටික කලකට පසු මූලික එක්සත් සභාවේ කිසිවෙකු ඉතිරි නොවන්නට ඉඩ තිබිණි. නැතහොත් සළු කොටසකි, ඉතිරි වන්නේ. මේ ප්‍රිය මනාප නො වූ දේ වැළකීම් වස් සභාව තුළ ප්‍රතිසංස්කරණ කළ යුතු විය.”
මාටින් ලූතර් ජර්මනියෙන් ආරම්භ කරන ලද නව රෙපරමාදු ධර්මය ජර්මනියෙන් බාහිර යුරෝපා ප්‍රදේශවල ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ගියේය. විශේෂයෙන් ඩෙන්මාර්ක්, නෝර්වේ, ස්වීඩන් වැනි ස්කැඩිනේවියානු රටවල ප්‍රධාන වශයෙන් දේශපාලන හේතූන් මත ලුතර්වාදය ප්‍රචාරය වී ගියේය. මුළු යුරෝපයම ආගමික වාද - විවාදවලින් කඩ වී ගියේය. බොහෝ විට මේවායින් අභ්‍යන්තර යුද්ධවලටද මඟ පෑදුණේය. මෙම ආගමික ප්‍රතිසංස්කරණවල මුල්කාලීන ප්‍රතිඵල වශයෙන් එංගලන්තයේ අටවෙනි හෙන්රි රජු පාප්තුමා සමඟ අමනාප වී කතෝලික සභාවෙන් වෙන් වී ගියේය. යුරෝපයේ බිහිවෙමින් පැවති නව ජාතික රාජ්‍යයන්වල රජවරු ද සාම්ප්‍රදායික බැම්මෙන් මිදී නව වාණිජවාදය හා එකිනෙක ගැලපෙන ප්‍රොතෙස්තන්තවාදය සිය රාජ්‍යයේ ප්‍රධාන ආගම බවට පත් කර ගැනීමට යුහුසුළු වූහ.
ජෝන් කැල්වින්ගේ ආගමික ව්‍යාපාරයද යුරෝපයේ පුළුල් වෙනස්කම් රැසක් ඇති කිරීමට ඉවහල් වුයේය. ඔහුගේ උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් දහසය වන සියවස පමණ වන විට ජාත්‍යන්තර ප්‍රොතෙස්තන්තවාදයේ මධ්‍යස්ථානය බවට ජිනීවා නගරය පත් විය. මේ හේතුවෙන් බැතිමතුන් රැකවරණය පතා හෝ ඉගෙනුම සඳහා හෝ ජිනීවා වෙත පැමිණි අතර විදේශිකයන් බොහෝ දෙනෙක් පෙරලා සිය රටවලට ගොස් කැල්වින්වාදය ප්‍රචාරය කිරීමට ඉමහත් කැපවීමෙන් හා වෙහෙස මහන්සියෙන් ක්‍රියා කළහ. මෙහි ප්‍රතිඵල වශයෙන් කැල්වින්වාදය දහසය වන සියවසේ දෙවන භාගයේ යුරෝපයේ විවිධ රටවල ප්‍රචලිත වීම දැක්විය හැකිය. ඕලන්දයේ බහුතරයක් වූ කැල්වින්වාදීහු ලන්දේසි ප්‍රතිසංස්කෘත පල්ලිය පිහිටුවා ගත්හ.
ස්කොට්ලන්තයේ බහුතරය වූ කැල්වින්වාදීන් ප්‍රෙස්බිටීරියන්වරුන් ලෙස ද ජර්මනියේ ඔවුන් කැල්වින්වාදීන්ම වශයෙන් ද හැදින්වුණි. ප්‍රංශයේ හා එංගලන්තයේ සුළුතරයක් වූ ඔවුන් පිළිවෙළින් හ්‍යුගොනිවරුන් හා පියුරිටන්වරු ලෙසත් හැදින්විණි.
ප්‍රොතෙස්තන්තවාදීන් ඒකාධිපති පාලනක්‍රමවලට විරුද්ධව ඇති වූ සටන්වලදී මූලිකත්වය ගෙන ක්‍රියා කිරීම නිසා බටහිර යුරෝපයේ රවවල දේශපාලන ක්ෂේත්‍රයේ ද වැදගත් ස්ථානයක් කැල්වින්වාදයට හිමි විය.
දහසය වන සියවසේ පසු කාලයේ දී යුරෝපා ජාතීන්ගේ බල ව්‍යාප්තියේ එක් ප්‍රධාන අරමුණක් වූයේ ආගම ප්‍රචාරය කිරීමයි. එයට හේතු වූයේ කතෝලික හා රෙපරමාදු වශයෙන් භේද වීම හේතුවෙන් යුරෝපා ජාතීන් තුළ සිය ආගමික අදහස් කෙරෙහි උද්‍යෝගයක් ජනිතවීමත් තම තමන්ගේ ආගමික විශ්වාස යුරෝපයෙන් පිටස්තර ලෝකයට ව්‍යාප්ත කිරීමට උනන්දුවක් ඇති වීමත් ය.
නව යුගයේ උදාවත් සමඟ යුරෝපයේ සිදු වූ මෙම රෙපරමාදු ප්‍රතිසංස්කරණයන් හේතු කර ගෙන ලූතර්වාදීන් හා කතෝලිකයන් අතර ආගමික ගැටුම් පැතිර ගිය අතර විරුද්ධ ආගමික පාර්ශ්වයන්ට පහර දී , මරා දැමීම හා පල්ලි ගිනි තැබීම සුලභ විය. මේ සිවිල් යුද්ධ ආගමික පසුබිමක් තුළ ඇති වීම නිසා ඒවා යුරෝපයේ තවත් රටවල ව්‍යාප්ත විය. මෙම අරගලවල උච්චතම අවස්ථාව ලෙස 1618 හා 1648 අතර කාලය තුළ යුරෝපයේ ඇති වූ තිස් අවුරුදු යුද්ධය හැදින්විය හැකිය. තිස් අවුරුදු යුද්ධය නිසා ඇති වූ විනාශය වැළැක්වීමට ආගමික නායකනයන් අතර ඇති වූ සාකච්ඡා මාලාව වෙස්ෆේලියා සාම ගිවිසුම නමින් හඳුන්වයි.
ක්‍රිස්තු සභාවට එල්ල වූ චෝදනා නිසාත් විවිධ ආගමික නිකායන් පිළිගැනීමට යුරෝපා ජනතාව පෙළ ගැසීම නිසාත් තමාගේ බලය ක්‍රමයෙන් දුර්වල වන බව අවබෝධ කර ගත් කතෝලික පල්ලිය ද කාලානුරූපව තම දර්ශනයේ වෙනස්කම් ඇති කර ගත යුතු බවට කල්පනා කළේය. මෙය ඉතිහාසඥයන් විසින් හඳුන්වනු ලබන්නේ ප්‍රතිරෙපරමාදුව හෙවත් කතෝලික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ලෙසය. මේ නිසා කතෝලික භක්තිකයන් තුළින්ම අදහසක් මතු වූයේ තම ධර්මය ආරක්‍ෂා කර ගැනීමට නම් ක්‍රිස්තු සභාව සංශෝධනය කළ යුතු බවයි. මෙහි පළමු ක්‍රියාමාර්ගය වූයේ 1545 දී තුන්වන පෝල් පාප්තුමාගේ ප්‍රධානත්වයෙන් ඉතාලියේ ටේරන්ට් නගරයේ කතෝලික පූජකසභාවක් මගින් කතෝලික පල්ලියට ද ප්‍රතිසංස්කරණ මාලාවක් හදුන්වාදීමයි. ඉන් ප්‍රධාන වශයෙන් අපේක්‍ෂා කළේ ප්‍රොතෙස්තන්තවාදයෙන් ඉදිරිපත් වූ මිථ්‍යාදෘෂ්ටික ලෙස සලකන ලද අදහස් බිඳ දැමීම, ප්‍රොතෙස්තන්තවාදයේ ව්‍යාප්තිය නවතාලීම ආගමික එක්සත් බව යළි ඇති කිරීම ආදියයි. මෙහිලා ඉතා වැදගත් මෙහෙයක් සිදු කළ සංවිධානයක් නම් ඉග්නේශෂ් ලොයෙලා විසින් පිහිටු වන ලද ජේසු සමාගම හෙවත් ජෙසුයිට් නිකායයි. ප්‍රොතෙස්තන්ත දහමට නැඹුරු වී පැවති ප්‍රදේශ යළි කතෝලික දහමට හරවා ගැනීමටත් රෙපරමාදු ආගමේ ව්‍යාප්තිය අඩාළ කිරීමටත් මොහු සමත් විය. මේ අතර පාප් සංස්ථාව කතෝලික සභාවේ ප්‍රතිසංස්කරණයන් කිරීම සඳහා ඉදිරිපත් විය. මෙහිලා තුන්වන පෝල්, සිව් වන පෝල් සිව් වන පියුස් හා පස්වන සික්ස්ටස් යන පාප්වරු වැදගත් කාර්යභාරයක් ඉටු කළහ. මොවුහු ප්‍රොතෙස්තන්තවාදීන් විසින් අභියෝගයට ලක්කරන ලද සියලු කරුණු සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දීමට ක්‍රියා කළහ. ප්‍රොතෙස්තන්තවාදීන්ගේ දැඩි විවේචයට ලක් වූ පූර්ණඵල විකිණීම තහනම් කෙරිණි. බිසොප්වරුන්ට හා පූජකයන්ට පල්ලි එකකට වඩා දැරීම තහනම් වූ අතර ඔවුන් බ්‍රහ්මචාරී වීමද අනිවාර්ය විය. මෙලෙස ප්‍රතිරෙපරමාදුව ප්‍රෙතෙස්තන්තවාදය පැතිර යාම වැළක්වීමේ දී සැළකිය යුතු සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් විය.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
කුලසේකර,කේ.එම්.පී,යුරෝපා ඉතිහාසය,කොළඹ:අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 2004.
පලිහේන,ගාමිණි.යුරෝපා ඉතිහාසයේ මධ්‍යකාලීන යුගය පිළිබඳ විමසුමක්,කැලණිය:කර්තෘ ප්‍රකාශනයකි,2011.
බස්නායක,එච්.ටී,අපරදිග ශිෂ්ටාචාරය 1,කොළඹ:ඇස් ගොඩගේ සහ සහෝදරයෝ,2003
මැරියට්,ජේ,ඒ.ආර්, නූතන යුරෝපයේ විකාශනය (1453-1939), කොළඹ:රාජ්‍ය භාෂා දේපාර්තමේන්තුව,1933.
සමණබැද්ද,ජයන්තා කුමාරි,යුරෝපා ඉතිහාසය,වරකාපොල:ආරිය ප්‍රකාශකයෝ,1992.
සවුත්ගේට්,ජෝජ්.ඩබ්ලියු,නූතන ඉංග්‍රීසි ඉතිහාසය 1(1453-1939),කොළඹ:ඇම්.ඩී ගුණසේන සහ සමාගම,1965
No comments:
Post a Comment